වැඩිය මාධ්‍යය අතරට නොඑන චාමර පළමු වතාවට දුව ගැන කියපු කතාව මෙන්න


චාමර වීරසිංහ කියන නාමය කලාකාමී , නිහතමානී ගායකයෙකු , සරල මිනිසෙකු ලෙස සමාජය තුල දැනටමත් මුල් බැසගෙන අවසන්.ජනප්‍රියත්වය වෙනුවෙන් එතරම් වෙහෙස නොවන චාමරට තම හැකියාව හේතුවෙන් ජනප්‍රියත්වය ඉබේම ලැබී තිබෙනවා.ඔහුට ආදරය කරන රසික රසිකාවියන් අද වන විට ක්‍රමයෙන් වැඩි වනවා මිසක් අඩු වන්නේ නම් නැහැ.මේ ඒ නිහතමානී කලාකරුවා චාමර වීරසිංහ සමග ගෙවුණ සොදුරු කතා බහයි.
Sri Lankan of the Year' ජනප්‍රියතම ශ්‍රී ලාංකිකයාට හිමි සම්මානය ලැබුණු නිසා චාමර ගොඩක් සතුටින් ඇත්තේ?
ඇත්තටම ඔව්. මෙවර 'Sri Lankan of the Year' ජනප්‍රියතම ශ්‍රී ලාංකිකයාට හිමි සම්මානය මා වැනි ගායකයකුට ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.
සම්මානයත් සමඟ ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. මම හිතන්නේ මේ සම්මානය මට විතරක් ලැබුණු දෙයක් නෙවෙයි කියලා. ඒක මට ආදරය කරන සියලුම රසික පිරිසට ලැබුණු සම්මානයක් හැටියටයි මම සලකන්නේ. එයාලගේ SMS මනාප නොලැබුණා නම් බොහෝදුරට මට මේ සම්මානයට හිමිකම් කියන්න පුළුවන් වෙන එකක් නැහැ.
විශ්වාසයක් තිබුණද මේ සම්මානය දෝතට ගන්න වරම් ලැබෙයි කියලා?
මම සම්මාන බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි වැඩකළේ. ලැබුණොත් සතුටින් භාර ගන්නවා කියලා හිතුවා. නමුත් රට වෙනුවෙන් හොඳ දෙයක් කළොත් එය යටපත් නොවී කොයි මොහොතේ හෝ ඇගයීමට පාත්‍ර වෙයි කියන විශ්වාසයෙන් වැඩ කළා.
ඔබව මේ තැනට ඔසවා තැබූ ඔබේ රසික පිරිසට කියන්නත් යමක් ඇති?
මම මේ තැනට ගෙනාව, මට ඉර්ඉ මනාප ලබාදුන් මගේ රසික රසිකාවියන්ට මුළු හදවතින්ම ස්තුතිය පුදකරනවා.
ඔබේ හඬට සහ චරිතයට ආදරය කරන විශාල රසික පිරිසක් ඉන්න බව ලැබුණු සම්මානය තුළින් හෙළිදරව් වුණා නේද?
මම කොහොමත් ජනප්‍රියත්වය පසුපස ලුහුබඳින ගායකයෙක් නෙවෙයි. මේ සම්මානය මට ලැබුණත් නැතත් මම දන්නවා මට ආදරය කරන විශාල රසික පිරිසක් මා වටා ඉන්න බව. ඒක හොඳටම හෙළිදරව් වුණා මට මේ සම්මානය ලැබීමත් එක්ක.

ඔබ ගායකයෙක් වෙන්න ගත්ත තීරණය ගැන අද ගොඩක් සතුටු වෙනවා ඇති නේද?
අනිවාර්යයෙන්ම මම පාසලේදී සෞන්දර්ය විෂයට කළේ චිත්‍ර. නමුත් මට ගායන හැකියාවක් පිහිටලා තිබ්බා. ගායන තරගවලටත් මම සහභාගි වුණා. චිත්‍ර විෂය කළාට මම වැඩියෙන්ම ආස කළේ සංගීතයට. උපතින් ලැබුණ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන මම පුංචි පුංචි බෑන්ඩ්වල පුහුණුවීම් කළා. ඇත්තටම මට හිතුණා සංගීත ක්ෂේත්‍රයෙන් මට දුරක් යන්න පුළුවන් කියලා.
විද්ද ඊතලය හරියට හරි ගියා නේද?
ඇත්තටම ඔව්. මමවත් බලාපොරොත්තු නොවුණු ප්‍රසිද්ධියක් අද වෙන කොට මට ලැබිලා තියනවා. ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා.
ඔබටත් එක්තරා කාලයක ප්‍රවීණ ගායක ගායිකාවන් අනුකරණය කරන්න සිදුවුණා නේද? එයින් අත්මිදිලා ඔබේම නිර්මාණයන්ට පිවිසෙන්නේ මොන කාලයේදීද?
මම මගේම නිර්මාණයන්ට පිවිසුණේ 2000 - 2002 වර්ෂවලදී. ඒ කාලයේදී තමයි "මගේ සිතින් විතරක්" කියන මුල්ම කැසට් එක කළේ.
මේ වෙනකොට ඔබේ ගීතමය වත්කම කොයි වගේද?
ගීත 150කට වැඩි ප්‍රමාණයක් දැනට තියෙනවා.
මල් ගීත ගායකයෝ, බස් ගීත ගායකයෝ, සම්භාව්‍ය ගීත ගායකයෝ වගේ වර්ගීකරණවලට ගායකයන්ව දැන් කොටු කරනවා. ඔබත් මේ වර්ගීකරණයන්ට අහුවෙලාද?
මම හිතන්නේ මම ඒ වර්ගීකරණයන්ට ලක්වෙලා නැහැ කියලා. ඒකට හේතුව මගේ ගීත එක් වර්ගීකරණයකට පමණක් කොටු වෙන්නේ නැහැ. විවිධ පැතිකඩ ඔස්සේ මම ගීත ගායනා කරලා තියෙනවා.
චාමර වීරසිංහ කියන්නේ ජනප්‍රියත්වය පසුපස ලුහුබඳින ගායකයෙක් නෙවෙයි නේද?
ඇත්තටම ඔව්. ජනප්‍රියත්වය පසුපස ලුහුබැඳීමේ ලොකු ආසාවක් මට නැහැ. මොකද ජනප්‍රිය වීම තුළින් අපේ නිදහසට ලොකු බාධාවක් ඇති වෙනවා. ඒක මම හොඳට අත්විඳලා තියෙනවා.
නමුත් අද තියන තරගකාරීත්වයත් එක්ක ජනප්‍රිය නොවී ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න අමාරුයි නේද?
ඒක ඇත්ත. නමුත් ගොඩක් ජනප්‍රිය වීම තුළින් නිදහසට ලොකු බාධාවක් ඇති වෙනවා. මම ජනප්‍රියත්වය සොයාගෙන නොගියත් දිනෙන් දින ජනප්‍රියත්වය මාව හොයාගෙන එනවා. ඒක මට රසිකයන්ගෙන් ලැබුණු ලොකු තිළිණයක් හැටියටයි මම සලකන්නේ.
ගීතයක් රසිකයන් අතරට ගෙනියන්න ගායනය වගේම ගීපද රචනය බලපානවා. ඔබේ ගීතවලට රචකයන්ගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ?
සුනිල් ආරියරත්න, කවිකීර්ති හාමුදුරුවෝ, ආරාධනා ඒකනායක වගේ ගී පද රචකයන්ගෙන් රචිකාවියන්ගෙන් මගේ නිර්මාණයන්ට දායකත්වය ලබාගෙන තියෙනව.ප්‍රවීණයන්ට වඩා මගේ ගීතවලට දායකත්වය ලබාගෙන තියෙන්නේ නවකයන්ගෙන්.
ඔබත් කට්ට කාගෙන ආව නිසාද නවකයන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන්න හිතුවේ?
ඔව්. මමත් මේ ක්ෂේත්‍රයට ආවේ ගොඩක් කට්ට කාලා තමයි. ඒ නිසා නවකයන්ටත් නව නිර්මාණයන්ට දායක වෙන්න අවස්ථාව දෙන්න හිතුවා.
අද බොහෝ විට ගීතයක් ජනප්‍රිය කරගන්න මියුසික් වීඩියෝවක් අනිවාර්ය වෙලා තියෙනවා. නමුත් ඔබේ නිර්මාණ සඳහා මියුසික් වීඩියෝ යොදාගන්නේ හරි අඩුවෙන් නේද?
මියුසික් වීඩියෝවක් තුළින් වෙන්නේ සින්දුව "ෆ්‍රේම්" වෙන එක. රූප රචනාවක් නැතිව ගීතයක් ගෙනාවොත් රසිකයන්ට එය තමන්ට හිතැති පරිදි රසවින්දනය කිරීමේ හැකියාවක් තියනවා.
මියුසික් වීඩියෝවක් නැතිව සින්දුවක් හිට් කරන්න අමාරු නැද්ද?
රූපවාහිනිය තුළින් ගීතයක් ප්‍රසිද්ධ කරගන්න නම් මියුසික් වීඩියෝව අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මගේ බොහෝමයක් රසික රසිකාවියෝ කියන්නේ මගේ නිර්මාණවලට මියුසික් වීඩියෝවක් අවශ්‍ය නැහැ කියලා. මොනවා වුණත් මගේ නිර්මාණයන්ට ආදරය කරන රසික රසිකාවියන්ගේ අදහස්වලටත් අවධානය දිය යුතුයි.
මේ වෙද්දී ප්‍රසංග වේදිකාවේ ඔබට වෙන් වෙලා තියෙන ඉඩ ගැන සතුටුද?
පැහැදිලිවම සතුටුයි. මගේ ජනප්‍රියත්වය අඩුවෙලා නැහැ. මගේ හඬට ආදරය කරන රසික රසිකාවියන් පිරිසක් මට එදා වගේම අදත් ඉන්නවා. දවසකට මම ප්‍රසංග කීපයකම සින්දු කියනවා. මේ වෙන තෙක්ම ප්‍රසංග වේදිකාව තුළ මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉදිරියටත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියල හිතනවා.

ඔබටත් අවුරුදු ‍12ක විතර ලොකු දුවක් ඉන්නවානේ. ඇයටත් ඔබේ හැකියාවන් පිහිටලා තියෙනවද?
එයාට තාම සංගීත පැත්තෙන්නම් ලොකු හැකියාවක් නැහැ. නමුත් චිත්‍ර පැත්තෙන්නම් තරමක් දුරට හැකියාවක් තියෙනවා.
ඔබ ආව ඒ අඩිපාර තුළ ඔබේ දියණියත් එනවා දකින්න ඔබ කැමැති නැද්ද?
මම කැමතියි ඇය ගායිකාවක් වෙනවට වඩා වෙනත් උසස් රැකියාවක් කරනවා දකින්න. මොකද මම ගායකයෙක් වුණා කියලා දුවත් ගායිකාවක්ම විය යුතුයි කියන මානසිකත්වයක් මට නහැ. එයාගේ දක්ෂතාව හඳුනාගෙන දක්ෂ පැත්තකින් ඉදිරියට යන්න මම දුවට උදව් කරනවා.
ඔබ කලාව වෙනුවෙන් සිදු කරන්න බලාපොරොත්තු වන ඉදිරි වැඩ කටයුතු මොනවාද?
මේ දිනවල මගේ අලුත් සින්දු කිහිපයක්ම කරගෙන යනවා. ඉදිරි මාස දෙක තුන ඇතුළත මගේ රසික රසිකාවියන් වෙනුවෙන් එම නිර්මාණ එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අවසාන වශයෙන් නවක පරපුර සහ සංගීත ක්ෂේත්‍රයේ අනාගතය ගැන මොන වගේ අදහසක්ද ඔබට තියෙන්නේ?
අද ඉන්න නවක පරපුරේ බොහෝමයක් දෙනා හම්බකර ගැනීමේ කලාවකයි නිරත වෙලා ඉන්නේ. සල්ලි පස්සේම දුවනවා මිසක් හොඳ, සාරගර්භ නිර්මාණයක් එළිදැක්වීමේ අරමුණක් ඔවුන් තුළ පෙනෙන්නට නැහැ. නමුත් මගේ අදහස නම් කලාවට ආදරය කරන කලාකරුවෙක් විදියට සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පැවැත්මක් ඇති දෙයක් කළ යුතුයි කියලා.

Comments