නිවසක බුදු මැදුරට ගැළපෙන හොඳම තැන

තමන්ගේ ආදරණීය සොඳුරු කැදැල්ල සතුට සාමය උතුරන දුක් කරදර, වලින් තොර යහපත් තැනක් බවට පත්කර ගැනීම සෑම කෙනෙකුගේම අපේක්ෂාවයි. ඒ සඳහා තමන් අදහන ආගමට අනුව පුද සත්කාර කිරීමට පූජනීය ස්ථානයක් සැකසීම ඕනෑම නිවසක දැකිය හැකි දෙයක්. නමුත් අපගේ හිතුමනාපයට, නිවසේ ඉඩකඩ ඇති ඕනෑම තැනක පූජනීය ස්ථානය සැකසීම මගින් අප බලාපොරොත්තු වන සෙත, ශාන්තිය, ආශිර්වාදය හා දේව බැල්ම නොලැබෙන බවයි වාස්තු විද්‍යානුකූල මතය වන්නේ.
නිවසක බුදු පිළිමයක් තැබීම සඳහා සුදුසුම දිශාව ඊසාන දිශාව වශයෙන් පිළිගැනෙනවා. එසේම විශ්ව ශක්තිය ගලා එන්නේද ඊසාන දෙසිනුයි. ඊසාන දිශාව මරු සිටින දිශාවක් නොවීමත් ඊට බලපා ඇති තවත් හේතුවක් විය හැකියි. වෙනත් ආගම් සඳහාද තම ආගමික සංකේතයක් ස්ථාන ගතකිරීම සඳහා සුදුසුම දිශාව වන්නේ ඊසානයි. ඊසාන දිශාවේ ස්ථානයක බුදු පිළිමය තැන්පත් කරන විට එහි මුහුණ නිරිත දිශාවට යොමු වී තිබෙනවා. අපි වන්දනා මාන කළ යුත්තේ ඊසාන දිශාව දෙසට මුහුණලා ගෙනයි.
සාමාන්‍යයෙන් බුදු පිළිමය දේව ප්‍රතිමාව හෝ අනෙකුත් ආගමික සංකේත නිවසේ කුමන ස්ථානයක තැබිය යුතුදැයි වැඩි දෙනෙකුට අවබෝධයක් නැහැ. මේ නිසාම විසිත්ත කාමරයේ, කෑම කාමරයේ, නිදන කාමරයේ හෝ නිවසින් බැහැරව ස්ථානයක බුදු පිළිම ඇතුළු පූජනීය අනුරූප හා පිළිම තැන්පත් කර තිබෙනු දැකිය හැකියි. මෙය වාස්තු විද්‍යානුකූලව ඉතා වැරදි සහගත ක්‍රියාවක් වශයෙනුයි සැලකෙන්නේ.
නිවසක බුදු පිළිම ඇතුළු ආගමික සංකේතයන් තැන්පත් කළ යුතු සුදුසුම ස්ථානය වන්නේ සාලය. එහි ඊසාන දිශාවේ ස්ථානයක් තෝරා ගන්න. මෙම ස්ථානය ඉතා පිරිසිදු ස්ථානයක් විය යුතු බැවින් කුණු එක්රැස්වන මුල්ලක් වැනි තැනක් යොදා ගැනීම කිසිසේත් නොකළ යුතු ක්‍රියාවක් බවයි පැවැසෙන්නේ. එසේම තරප්පු පෙළවල් යට බොහෝ දෙනෙක් බුදු මැදුර වැනි පූජනීය තැනක් ස්ථාන ගත කිරීමට යොදා ගත්තත් එය වාස්තු විද්‍යානුකූලව අනුමත කෙරෙන්නේ නැහැ. එසේම ඊසාන දිශාවේ පූජනීය ස්ථානයක් ස්ථාපිත කිරීමේදී ඊට ඉහළ මාලයේ වැසිකිළි නාන කාමර පවතී නම් ඒවාට යටින් බුදු පිළිම ආදිය තැන්පත් කිරීමද නොකළ යුතුයි. මොනයම් හෝ හේතුවක් මත ඊසාන දිශාවේ පූජනීය ස්ථානය ස්ථානගත කළ නොහැකි නම් උතුර හෝ
නැගෙනහිර විකල්ප දිශාවන් ලෙස භාවිතයට ගත හැකියි.
කෙසේ වෙතත් බුදු පිළිමය හෝ වෙනත් ආගමික සංකේතය තබන ස්ථානය ඉතා පිරිසිදුව තබාගත යුතු අතර වඩා උස හෝ වඩා පහත් ස්ථානයක් ඒ සඳහා යොදා නොගැනීමට වග බලා ගත යුතුයි.

හංවැල්ල ,කළුඅග්ගල
තරිඳු ජ්‍යොතිෂ්‍ය ආයතනයේ
වාස්තු විද්‍යාඥ
සුමනසිරි දයිගල

Comments